අප ජාතියක් වශයෙන් සහ බෞද්ධාගමික වශයෙන් විශාල මුලාවකට හසුවී සිටි. නැතිනම් කවුරුන් විසින් හො දැනුවත්වම මුලාවකට තල්ලු කරමින් සිටී. දැනටමත් අප රටෙහි බහුතරය පුහු අන්ධ විශ්වාසයන් පසු පස හඹා යන තත්වයට පත් කරමින් සිටි. ආගමක් තුලින් සිදුවන්නේ වානරයා සහ මිනිසා අතර ඇති වෙනස වටහා ගනිමින් තමා විසින්ම සිත දමනය කරගනිමින් අන් අයට හානියක් නොවන අයුරින් ජීවත් වීමට උගැන්වීමයි. බෞද්ධ ක්‍රිස්තියානි හො මුස්ලිම් හො සෑම ආගමක උගන්වන්නේ මෙම දහමයි. මෙයිනුත් බෞද්ධාගම ආගමකට වඩා දර්ශනයක් යැයි බොහො උගතුන්ගේ අදහසයි. රටක ජනතාව කුමන ආගමක් පිලිගත්තද එය ජනතාවගේ අවශ්‍යතාවකි. අද ලෝකයේ දියුණු යැයි සම්මත රටවල ජනතාව තමුන්ට රිසි ආගමක් අදහති. ආගමක් අදහන්නේ නැතිව හො සිටිය හැකිය. නමුත් සැමට සමානවු නිති පද්ධතියක් ඒ රටවල ක්‍රියාත්මක වෙයි. ආගම්වාදීව කටයුතු කිරීම ඒ රටවල ආණ්ඩුවලට අයත් කරුණක් නොවේ. ප්‍රාන්ත රාජ්‍ය 5ක් තිබෙන ඕස්ට්‍රේලියාවෙ ජාතින් 200ක් පමණ ජීවත් වෙයි. ආගම් 300ක් පමණ ඇත. නමුත් රාජ්‍ය පාලනය කරන්නේ ආගම්වදීව නොවේ. බෞද්ධ රටක් වශයෙන් ප්‍රසිද්ධ අපේ රටෙ තත්වය කුමක්ද? බෞද්ධ ආගම ඉස්සරහට දාගෙන රජයන් කරන්නේ මොනවාද? ආගමකට වඩා දර්ශනයක් යැයි බොහො උගතුන් කතා කරන බෞද්ධ දර්ශනය විකෘති කරමින් මිනිසුන් අන්ධ විශ්වාශයන් වලට ඇදගෙන යාම නොවේද? ඒ සදහා ජනමාධ්‍යයන් යොදාගන්නේ ඉතා නිර්ලජ්ජිතවය. ඔවුනටද කිසිම හිරිකිතියක් නැත. එසේ දැනුනොත් ආණ්ඩුවේ ඇඩ්ස් ටික නොලැබේ. එසේ උනොත් ආයතනය වහන්නට සිදුවෙයි. සෑම උදැසනකම ජනමාධ්‍යයන් පන්සල් වැනිය. ජෞතිෂ්‍යකරුවො සිතූපැතූ සියල්ල සකස් කර දෙන්නේ පාන්දර 5ටය. මේ සියල්ල ඉතාමත් මැනවින් සිදුකරන්නේ රටේ දරු දැරියන්ගේ ඥාණය මොට කරමින් තමුනට අවශ්‍ය මොට්ට තරුණ පිරිසක් බිහිකිරීමට බව වැඩිහිටියන් වන අප තෙරුම් ගන්නේ කවදාද? බහුතර චීවර දාරින්ද මේ සදහා වගකිවයුතුවේ. ජනතාවට නොතේරෙන මගුල් කියමින් ජනතාව ගොනාට අන්දන චීවර දාරින් දසරාජ ධර්මයට අනුකූලව රටපාලනය කරන ලෙස රජයට බලනොකරන්නේ ඇයි? මෙම මුලාවෙන් ගොඩ ඒමට නම් මම හොද ගෙයක් කාර් එකක් ආදි වශයෙන් සිතන්නට පටන් ගෙන මගේ ලමයාට විතරක් හොදට උගන්න ගත්තොත් ඇති කියන සංකල්පයන්ගෙන් අප මිදිය යුතුයි. රතන සුතුර උදේ හවස වරකට දෙක බැගින් තුන්වරක් දේශනා කිරීමෙන් කොරොනා සුව කල නොහැකි බව වටහා නොගන්නේ ඇයි? අප ඒ තරමටම මුලා වෙලාද? අපව මොනතරම් ගොනාට අන්දවා තිබේදැයි සිතන්නට මෙම දෙවන උදාහරනය ගන්න.
උප්පාදවයධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
තෙසං වූපසමෝ සුඛෝ
මොකද හිතෙන්නෙ? මේ ගාථාව අසන්නට ලැබෙන්නෙ මළ ගෙවල්වල පාංශකූලය දෙන විටයි. හැම මලගෙදරකම පාංසකූලෙ දෙනකොට මේ ගාථාව කියනව. ඒත් මෙහි ඇත්තේ අමරනීය වීමේ සුවය පිලිබඳවයි. අද ඉන්න ස්වාමින් වහන්සේලා මළ ගෙවල් වලට තල්ලු කරල තියන මේ ගාථාව බුදු දහමේ සාරයයි මට සිතේ. මැරුණ කෙනෙකුට කිසිම අදාලත්වයක් නැහැ. කොහොමටත් බුදු දහමේ නියම දර්ශනය මතු කරන්නෙ අද ඉන්න ඉතාම අතලොස්සක් පමනයි. නාලන්දාවේ අටවෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කාලයේ ධම්මාරාම හිමියන් ඉගැන්වුවා මතකයි. එකල පැහැදිලි වු ගාථාවේ කෙටි තේරුම මෙසේ විය. නමුත් මෙහි අර්ථය එවකට පැහැදිලි වුයේ නැත.
උප්පාද වය ධම්මිනෝ - ඒ සියල්ල ඉපදෙන මියයන සුළුය.
උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති - ඉපදුන සියල්ල නැසීයයි.
තේසං වූපසමෝ සුඛෝ - උපදින වෙනස්වන මියයන ස්වභාවය සංසිදී යාම සුවයකි.
දීඝනිකායෙ මහා වග්ගයෙ මහා පරිනිබ්බාන සූත්රය 246 පිටුවෙහි ඇති මෙම ගාථාව බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ ශක්‍ර දෙවිදුන් විසින් එසේ කෙලෙස් වලින් තොරව සැබෑ සැපයෙන් යුක්තව නිර්වාණ සැපය සාක්ෂාත් කර පිරිනිවන් පෑ උතුම්වූ බුදුරජානන්වහන්සේ වෙනුවෙන් කී උපහාර ගාථාවකි. ඉතින් ඒ උතුම්වූ බුදුරජානන්වහන්සේ ගේ පර්නිර්වාණය නිමිතිකොට බුදුරජානන්වහන්සේ වෙනුවෙන් කී මෙම උපහාර ගාථාව මේ නොයෙකුත් ආකාරයෙ පෘතක්ජන මිනිස්සු මැරුණ වෙලාවට කියන එක හරිද?
ජීවත්වන සැමගෙ සංඛාර ජාති තුනක් ඇතිවෙ එනම්
වචී සංඛාර
මනෝ සංඛාර
කාය කියන්නෙ කයට නෙවෙයි කාය සංඛාර කියන්නෙ
ඇසින් හැදෙන සංඛාර
කණින් හැදෙන සංඛාර
(සංඛාරා එනම් සංස්කාර යන වචනය විවිධ තැන්වල විවිධ තේරුම් ලබාගැනීම උදෙසා භාවිත කරයි අවිද්‍යාව නිසා ඇතිවන සංස්කාර යනු කුසල් අකුසල් හා ධාන්‍ය ලබාගැනීමට අදාළ ක්‍රියාවලි වලට අදාළ සංස්කාරයි, ඊට අමතරව “සබ්බේ සංඛාරා අනිච්චා ” සියලු සංස්කාරයන් අනිත්‍යයයි පවසන ප්‍රකාශයේදී සංස්කාර ලෙස විග්‍රහ කෙරෙනුයේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල සංඛත හෙවත් සංස්කාර යන අදහසයි, තවද පංච උපාදානස්කන්ධ විග්‍රහයේදී රූප, වේදනා, සංඥඥා , සංඛාර යනුවෙන් හැඳින්වීමේදී මෙහි සංඛාර යනුවෙන් හඳුන්වන්නේ සංස්කාර ස්කන්ධය හෙවත් කාය, වචී , චිත්ත සන්ස්කාරයන්ය, එනම් චේතනාව මුලික වී සිදුවන ක්‍රියාවන් වේ)
අනිච්චා - ඉච්ච කියන්නෙ කැමැත්ත එහෙම නම් අනිච්ච කියන්නෙ කැමත්ත ඉටු නොවන කියන එක
අනිච්චා වත සංඛාරා කියන්නෙ ඉපදුන කිසිකෙනෙක් ඇතිකරගන්නා ඉටුකරගන්නා අයිතිකරගන්නා කිසිම දෙයකින් කිසිම සංඛාරයකින් කිසිම සංඛතයකින් කැමැත්ත ඉටුවන්නේ නැත කියන අර්ථයයි. ඒවා අපි කැමැත්තෙන් හදාගෙන අල්ලගෙන සිටියට ඒවායේ අපේ කැමැත්තට හෝ අකමැත්තට අනුව කැමතිසේ, මනාපසේ, නිච්චසේ, සුඛසේ, සුභසේ අත්ථසේ පවතින ධර්මතාවයක් නොවන බවයි.
උප්පාද වය ධම්මිනෝ කියන්නෙ ඇතිවන උප්පාදවන සංඛාරයන් නැතිවයන වය වන ධර්මතාවයෙන් යුක්තය කියන අර්ථයයි. නැත්නම් එම සංඛාරයන් ඒවා ඇතිවීමට හේතු ඇතිවිට ඇතිවී ඒ හේතු නැතිවූවිට නැතිවයන ධර්මතාවයෙන් යුක්තය කියන අර්ථයයි.
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති කියන්නෙ හේතු ඇතිවිට ඇතිවී ඒ හේතු නැතිවූවිට නැතිවයන තමන් ආශා කරන ඇලීම් ගැටීම් කර සාදාගන්නා එම සංඛාරයන් එම සංඛතයන් කිසියම් කෙනෙකුට හෝ දිගින් දිගටම නොනවත්වාම පවත්වාගෙන යන්නට හෝ ඒවා ඇතිවී නැතිවීයාම නවත්වන්නට නොහැකි බව ඒවා ඇතිවන්නට හේතු ඇතිවුනහම ඇතිවෙලා ඉන්පසුව ගෙවිලා,වැහැරිලා, විනාශවෙලා නිරුද්ධවෙලා යන ධර්මතාවයෙන් යුක්ත ඒවා බව කියන එකනෙ.
තෙසං වුපසමො සුඛො කියල කියන්නෙ මේ ලෝකයේ ඇති සියලුම දේ වලට අදාල ඉහත ධර්මතාවයන් තුන ධර්මයට අනුව ප්රඥ්ඥාවෙන් දැක අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කර ඒ අනුව ලෝකයේ ඇති ආශ්වාදයන්ගේ නිස්සාරබව දැක මේ ලෝකයේ විවිධ දේවල් සමග රාග ද්වේශ මෝහ බවින් ඇලෙන,ගැටෙන,මුලාවන ගති නවතා සං වීමෙන් හෙවත් බැඳීමෙන් මිදී සිටින තැනැත්තේ සුඛ විහරනයෙන් යුතුව වාසය කරන්නේය කියන අර්ථයයි.
දැන් තේරෙනව නේද මේ ගාථාව කොතරම් ගැඹුරු අර්ථයෙන් යුත් ගාථාවක්ද කියන එක. කොතනද මේ ගාථාවෙ මැරිච්ච මිනිහෙක් ගැන තියෙන්නෙ කොහෙවත් නෑනෙ.
සිත තුල නිරන්තරයෙන්ම සිතුවිලි ගග ගලන්නේ සංඛාර නිසාය. මේ සංඛාර රැස් කලේ අවිද්‍යාව හේතුවෙන් ආයතන හය මගිනි. කෙලෙස් කියන්නේත් ආශ්‍රව කියන්නේත් මේ සංඛාර වලටමයි. සංඛාර යන වචනයේ තේරුම කුණු කසල යන්නයි. ඇත්තෙන්ම මේවා කසලය.කිලුටුය. ප්‍රභාෂ්වර වු මුල් සිත කිලුටු කරන්නෙ මේ සංඛාර මගිනි. සසර ගමනට මුලිකම හේතුව රැස්කලාවු මේ සංඛාරයි. පංච උපාදානස්කණ්ධයේ එක ස්කන්ධයක් ලෙස හැදින්වුවද, පංච උපාදානස්කණ්ධයම සකස් කරන්නේ සංඛාර විසිනි. කර්මය කියන්නේද මෙම සංඛාර වලටමයි. සැබවින්ම සංඛාර ඇතිව නැතිව යන්නකි. අවිද්යාව නිසා ක්‍රියාව, කර්මයක් කරගෙන කර්ම හෙවත් සංඛාර රැස් වන්නේ මේ සිතෙන්ම නිපදවු කෙනා පුද්ගලයා හෙවත් මම සිටින තුරු පමණකි. සංඛාර වල නියමම ස්වභාවය වන අනිත්ය දැකීමෙන්මයි සංඛාර සිතෙන් නිරුද්ධ වන්නෙ.
අදවන විට කොරොනා පාලනය කරන්නට යන්නේ පැය 24 ම රතනසුත්‍රය ප්‍රචාරය කරලයි. අපිට ගොඩයන්න පුලුවන් වෙයිද? මා ධර්මය පිළිබද ප්‍රාඥයකු නොවේ. මා මෙම උදාහරනය ලෙස ගත්තේ ධර්මය අවබෝද කර නොගෙන අප කොතරම් මුලාවට පත්කල හැකිදැයි වටහා දීමටයි. ධර්මය ධර්මය ලෙස දකින්න යැයි පැහැදිලි කර දීමටයි. ආගමක් ඇදහීම හො නොකර සිටීම ඔබට අයිති කාරනයකි. නමුත් රජය හො වේවා වෙනත් කෙනෙකු හො වේව මෙවැනි දේ තුලින් ඔබ රැවටෙනවාදැයි සිතීම ඔබට පමණක් නොව ඔබේ අනාගත දරු මුනුපුරන්ටද වටිනා රටක් ඉතිරිකර දීමට ඉවහල් වේ. ආරම්භයක් ලෙස ධම්මපද්යේ ගාථාවක් ලියන්නම් අර්ථය සොයා ගැනීමට උත්සහ කර පිළිපදින්න.
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා.



No comments:
Post a Comment