(Pic 1. වසර 2006 පලමු වරට පාසලට ලමුන් ඇතුලත් වීමේ පරීක්ෂණයට් ලමුන් සුදානම් වෙන ආකාරය)
මේ මාගේ වසර 23ක ඕස්ට්‍රේලියානු ජීවිතයේ මා ලද විශාලම ජයග්‍රහනයකි. යම්කෙනෙකුට දරු දැරියන් වෙනුවෙන් පාසලක් ඇරඹීමට ලැබේ නම් එය මොනතරම් සුන්දර සිහිනයක සැබෑ වීමක්ද. මෙම පාසල ඕස්ට්‍රේලියාවේ බටහිර වික්ටොරියාවේ වින්ඩම් ප්‍රදේශයේ එකම සහ පලමු සිංහල පාසලයි. ලංකාවේ ගුවන් විදුලිය සහ රූපවාහිනියේ සිංහල ඇසෙන විට අප රටේ සිංහල භාෂාවට වන විනාශය මනාව වටහාගත හැක. මේ විනාශය දකිද්දී මා උරදී ඇත්ත මොනතරම් වටිනා කටයුත්තට දැයි මට දැන් සිතේ. කෙදිනක හො පාලකයින් මෙය වටහාගෙන කටයුතු නොකලොත් සිංහල භාෂාව වලපල්ලට යෑම නැවැත්විය නොහැක. අපට මව්බසත් ඕස්ට්‍රේලියාවේ උපදින අපේ දරුවන්ට දෙවනබසත් වන සිංහල භාෂාව ඉගැන්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. භාෂාව සහ සංස්කෘතිය අතර තිබෙන්නේ ඉතා ලග සම්බන්දතාවයක්. සිංහල භාෂාව රැකුනොත් පමණයි අපට සිංහල සංස්කෘතියක් ඉතුරුවන්නේ. සිංහල කතා නොකරන දරුවෙකුට සිංහලකමේ සිංහල සංස්කෘතියේ මූලික් ලක්ෂන පවා ග්‍රහනය කර ගැනීමට නොහැකියි. 1989 දී මියගිය නවසීලන්ත මයෝරි නායක ශ්‍රීමත් ජේම්ස් හෙනාරෙ කියු පරිදි "සමහර උදවිය සිතන පතන ක්‍රියාකරන අන්දමට අපේ භාෂාව මියදුනොත් මොනවද අපට ඉතුරු වන්නේ? එහෙම උනොත් අපි කවුද?" එලෙසම මැකීයන කටහඩවල් නමින් ලෝකයේ භාෂා පිරිහෙමින් යෑම විමර්ශනයක් කරමින් පොතක් ලියු ඩැනියෙල් නෙටල් සහ සුසෑන් රොමේන් යන දෙදෙනාගේ අදහසට අනුව "පසුගිය වසර කිහිපය තුලත් වත්මනයෙත් සිදුවන දෙයින් පෙනීයන්නේ අපගේ විශ්ව ගම්මානය සැබවින්ම බහුසංස්කෘතික බහු භාෂාමය එකක් විය යුතු බවයි. දෙවන්න නම් භාෂාවක මරනය සිදුවන්නේ එම භාෂාවේ සමස්ත කාර්ය පරාසයම අභිබවමින් වෙනත් භාෂාවක් ලෙස තම භාෂාව අනුකරනය කරමින් වෙනත් භාෂාවක් ඉස්මතුවීමයි. දෙමාපියන තවදුරටත් තම මව්භාෂාව දරුවන්ට හුරුකිරීම අත්හල විටයි". ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ්, ඔහුගේ “භාෂා අධ්‍යයනයට ප්‍රවේශයක්” නම් කෘතියේ දී භාෂාව හඳුන්වා දී ඇත්තේ, “භාෂාව නම් මිනිසාගේ මානසික ක්‍රියාකාරීත්වයට පර්යාප්ත වන ප්‍රකාශනශීලී ගතියෙහි ආකෘතිය යි” යනුවෙනි. මේ අයට අනුව නම් අප සිහල බසට සිදුවන්නේ කුමක්දැයි සහ එය රැකගැනීම කොතරම් අවශ්‍යදැයි ඔබ කිසිවකුට වටහා දිය යුතු යැයි මා නොසිතමි. භාෂාවක සාක්ෂරතාවය සම්පූර්ණ වීමට ලිවීම කියවීම කථනය සවන්දීම යන හතර සමවධානය වියයුතුය. මේ අනුව ගත්කල ලංකාවේ එෆ් එම් නාලිකාවකට සවන් දීමේදි අප ආරම්භ කල පාසල ගැන අප කෙතරම් ආඩම්බර විය යුතුද? මේ වන විට සිංහල භාෂාව මිය යන භාෂාවක් ලෙස යුනෙස්කෝ මගින් සිංහල භාෂාව සංරක්ෂණය කලයුතුයැයි තීරණය කල බව මගේ මිතුරෙකු මාහට පවසා සිටියා. නමුත් මෙම කරුන සම්බන්දයෙන් සොයා බලන්නට මට තවම අවකාශයක් ලැබී නැත.
2006 වසරේදී මාගේ සිතුවිල්ලකට අනුව සිංහල පාසල ආරම්භ කලේ පස් දෙනෙකුගේ පුද්ගලික මුදලිනි. සිංහල පාසලක් ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලාංඡනයක් නිර්මාණය කිරීමට සහ විෂය නිර්දේෂයන් සකස් කිරීම මා හට පැවරිණි. විෂය නිර්දේශයන් සකස් කිරීම ලෙහෙසි කරුණක් නොවේ. ලංකාවේ විෂය නිර්දේශයන් ගෙන්වා ඉගැන්වීම ප්‍රයෝගික නොවන බව සියලුම කමිටු සාමාජිකයන්ගේ තීරණය විය. වැඩිහිටි අපට සිංහල භාෂාව පළමු බස වුවත් එරට ඉපදුන අපේ දුදරුවන්ට සිංහල භාෂාව දෙවන භාෂාව්ක් වේ. මා විශාල ගැටලුවකට පත්විය. මෙම ගැටලුවෙදි නිතතින් මා සිහියට ආවේ එවකට ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති ධූරන්ධර මඩුවන්වෙල සුගතනන්ද හිමිපාණන්ය. උන් වහන්සේ ඕස්ට්‍රෙලියාවේ පාරමිතා බෞද්ධ විහාරයේ කලක් වැඩ විසුහ. මනොවිද්‍යාව අනුව කුඩා ලමුන්ට අධ්‍යාපනය දීම පිළිබද උන්වහන්සේට විශේෂ උපාධියක්ද ඇත. මා උන්වහන්සේට දුරකථනයෙන් ඇමතීය. ඒ අවස්ථාවෙ උන්වහන්සේ පාසලේ රාජකාරි කරන වෙලාවේ බව මට ඉගියක් දෙමින්ම කාරනාව විමසීය. මා කරණු ඉදිරිපත් කල පමණින්ම පෙරලා මගෙන් විමසුවෙ ලංකාවේ ලමුන් පලමු වසරේ සිට උසස් පෙළ දක්වා ඉංග්‍රිසි බස ඉගෙන ගත්තද පාසල් හැර යනවිට ලමුන් කීදෙනෙකුට ඉංග්‍රිසි බස කතා කිරීමට හැකියාව තිබෙනවාද යන්නයි. එය එසේ නම් ලංකාවේ ලමුන්ට ඉංග්‍රිසි භාෂාව ග්‍රහනය කර ගැනීමට නොහැකි වූ හේතුව සොයා ගත්තොත් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනවා නේද යන්නැයි. උන් වහන්සේ මට තේරුම් කරන්නට යෙදුනේ ලංකාවේ සිංහල බස පළමුබස වන ලමුන්ට දෙවන බස වන ඉංග්‍රීසි බස ඉගැන්වීමෙ ඇති දුර්වල තාවයද සරදමකට ලක් කරමිනි. විෂය නිර්දේෂයන් සම්බන්ධයෙන් ඇසු පැනයට උන් වහන්සේ කියා සිටියේ තම පාසලේ සිංහල භාෂාව උගන්වන ගුරු මහත්මීන් සමග කතා කොට කමිටුවක් සාදා මට නැවත කථා කරන බවයි. මේ කතා බහ අවසානයේ ගීතාංජලී වීරතුංග, ඩබ්.එච්.ආර්.දමයන්ති, ක්‍රිෂාන්ති හෙට්ටිආරචිචි, තුල්සි සමරසිංහ යන ගුරුමහත්මීන්ගේ සහයෝගයෙන් කමිටුවක් පිහිටුවා ගත්හ. අවසානයේ ස්වාමීන් වහන්සේ සහ ගුරුමහත්මීන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ඕස්ට්‍රේලියාවේ උපදින දරුවන්ට ගැලපෙන පරිදි සරල සිංහල විෂය නිර්දේශ 4ක් නිර්මාණය කිරීමට මට හැකිවිය. මවිසින් සකස්කල එම නිර්දේශයන් පරීක්ෂා කර බැලීමට වික්ටෝරියානු උතුරු භාෂා පාසලට මා භාර දුන්නේය. එම පාසලේ සිංහල භාෂා සම්බන්ධීකරණ නිලධාරි මහත්මිය එම විෂය නිර්දේශ සම්බන්ධයෙන් මා වෙත එවු ලිපියද ඔබට පහතින් දැකගත හැක.
මගේ මීලග කාර්යය වුයේ පාසල් ලාංඡනය සකස් කිරීමයි.ලාංඡනයට ගැලපෙන පාඨයක් පිළිබද සිතමින් සිටින විට මට ධම්මපදය සිහිවිය.එයට හේතුව වුයේ මා අධ්‍යාපනය ලැබු නාලන්දාවේ ලාංඡනය සිහිවීමෙනි.එහි ඇත්තේ අපදාන සොභිනි පඤ්ඤා. (උගත්කම චරිතයෙන් බබළයි.) යන්නයි. මේ අනුව අප පාසලට ගැලපෙන පාඨය සෙවීම සදහා වර්ගයන් විසිහයකින් ඇති ගාථා හාරසිය විසිතුනම කීපවරක් කියවීමට මට සිදුවිය.අවසානයේ බුද්ධඝෝෂ හිමි විසින් අර්ථකථන දක්වා ඇති සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පණ්ඩිත වර්ගයේ එන පස්වන ගාථා රත්නය මා තෝරා ගත්තා. එය මෙසේය.
උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා.
පදගත අර්ථයන් මෙසේ වෙයි:
උදකං නයන්ති (දියගෙන යෙතී)
නෙත්තිකා (දියාළුවෝ - එනම් තමන් කැමති පරිදි ඇලවේලි බැද ඒ මගින් තමන්ට අවශ්‍ය තැනට දිය ගෙන යාමට සකස් කරන්නෝ)
උසුකාරා (හී වඩුවෝ)
තේජනං නමයන්ති (ඊදඩු තවා ඇද මැඩ තමන් කැමති සේ නමත්)
තච්ඡකා (ලී වඩුවෝ)
දාරුං නමයන්ති(දැව දඩු තමන් කැමති සේ නමත්)
පණ්ඩිතා (නුවණැත්තෝ)
අත්තානං දමයන්ති (තම සිත තමන් විසින්ම දමනය කරත්)
"අත්තානං දමයන්ති පණ්ඩිතා" යන පාඨය යොදා ගනිමින් මවිසින් නිර්මාණය කරන ලද ලාංඡනය කමිටු සාමාජිකයන් සියල්ලන්ගේම පැසසුමට ලක්විය.
අප පාසලේ දැක්ම සහ මෙහෙවර
(Vision & Mission)
දැක්ම:
වික්ටොරියාවේ බටහිර ප්‍රදේශවල ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට සිංහල මව් භාෂාව භාවිතය පිළිබඳ විශ්වාසය ගොඩනැගීම
මෙහෙවර:
අපගේ භාෂාව සහ සංස්කෘතිය ඉහළ මට්ටමක පැවතීමේ වැදගත්කම ඕස්ට්‍රේලියානු ලාංකේය ප්‍රජාවේ තරුණ තරුණියන් වෙත ගෙන ඒම සහ ඕස්ට්‍රේලියාවට වටිනා පුරවැසියෙකු වීම.
පාසල් වටිනාකම:
එකිනෙකාට ගරු කරන්න
කණ්ඩායම් වැඩ
ඉගෙනීම
කැපවීම
අඛණ්ඩතාව
එකිනෙකාට ගරු කරන්න:
මෙයින් අදහස් වන්නේ ඔබගේ දැක්මේ ඇති විවිධත්වය සහ අගය වෙනස්කම් පිළිගැනීමයි
එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබීම සහ සහාය දීම
සාධාරණ මානුෂීය හා ආචාරශීලී ලෙස කටයුතු කිරීම
කරන කාර්යයන් හොඳින් හඳුනා ගැනීම
ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න පාසලක් ලබා දීමෙන් යහපැවැත්ම සහතික කිරීම
කණ්ඩායම් වැඩ:
මෙයින් අදහස් කරන්නේ පොදු අරමුණක් සඳහා සහයෝගයෙන් වැඩ කිරීමයි.
ධනාත්මක සම්බන්ධතාවය ගොඩනැගීම හා පවත්වාගෙන යාම.
විවෘත හා ඵලදායී සන්නිවේදනයක් පුහුණු කිරීම.
ඒකාබද්ධව ගැටළු විසඳීමට සහාය වන පරිසරයක් නිර්මාණය කිරීම.
ඉගෙනීම:
මෙයින් අදහස් කරන්නේ අපගේ දැනුම, කුසලතා සහ අත්දැකීම් එකිනෙකා සමඟ බෙදා ගැනීමයි.
පුහුණුව හා සංවර්ධනය තුළින් සිසුන්ට ඔවුන්ගේ හැකියාවන් අවබෝධ කර ගැනීමට ඉඩ දීම.
නිර්මාණශීලිත්වය සහ නව්‍යකරණයන් පෝෂණය කිරීම.
දෙමාපියන්ගේ සහාය ඇතිව අඛණ්ඩ පර්යේෂණ තුළින් හැකියාවන් වැඩි දියුණු කිරීම.
කැපවීම:
මෙයින් අදහස් කරන්නේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ අපගේ වගකීම් ඉටු කිරීමට එක්රැස් වී වැඩ කිරීමයි.
අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ ප්‍රතිඵල ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීම.
පාසලේ දෛනික අවශ්‍යතා සහ අවශ්‍යතාවයන් අවබෝධ කර ගැනීම.
කැපවීමට සිසුන් පෙළඹවීම සහ දැනුවත් කිරීම.
අඛණ්ඩතාව:
මෙයින් අදහස් කරන්නේ සදාචාරාත්මක, අවංක සහ වගවීම.
ඉහළම ප්‍රමිතීන් සඳහා උත්සාහ කිරීම.
සදාචාර විරෝධී හෝ අපගේ සාරධර්මවලට පටහැනි අභියෝගාත්මක හැසිරීම්.
සම්පත් වගකීමෙන් හා ඵලදායී ලෙස භාවිතා කිරීම.
සෑම මට්ටමකින්ම සහ වේලාවකම ආදර්ශයෙන් මෙහෙයවීමේ සංස්කෘතියක් ඇති කිරීම.
අපගේ කැපවීම ඉටු කිරීම
අපේ කාර්ය මණ්ඩලය:
අපගේ ගුරුවරුන් විවිධ අධ්‍යාපන පසුබිම්වලින් මෙන්ම අතිවිශාල ජීවිත අත්දැකීම් වලින් ද පැමිණේ. පාසලේ ආරම්භක අදියර සඳහා ස්වේච්ඡා ගුරුවරුන් කිහිප දෙනෙකු පාසල් කමිටුව විසින් තෝරාගෙන ඇති අතර ඔවුන් වෙනුවට ස්ථිර ගුරුවරුන් පත් කරනු ලැබේ.
විෂය බාහිර ක්රියාකාරකම්:
මෙම පාසල සෑම විටම ඉහළම ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමට පාසල් කමිටුව කැපවී සිටී. තෙවන භාෂාවක් ඉගෙනීමට සිසුන්ට පහසුකම් සැලසීම සඳහා පාසල තෙවන අදියරේදී ඉගැන්වීම පසුකාලීනව සලකා බලනු ඇත. මෙම කමිටුව වරින් වර විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් සංවිධානය කරනු ඇති අතර මෙම ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර අවශ්‍ය විටෙක දෙමාපියන් සමඟ සාකච්ඡා කරනු ඇත.
දෙමාපියන්ගේ කැපවීම:
සියළුම පාසල් කටයුතුවලට දෙමාපියන් මුළුමනින්ම සම්බන්ධ වනු ඇතැයි පාසල් කමිටුව අපේක්ෂා කරයි. මෙම භාෂා පාසල සාර්ථක කර ගැනීම සඳහා දෙමාපියන්ගේ දායකත්වය බෙහෙවින් අගය කරනු ලැබේ. පාසල් කමිටුව එහි පරිපාලනයට පමණක් සම්බන්ධ වන අතර වරින් වර කමිටුව විසින් පාසලේ හැසිරීම හා සුමට ක්‍රියාකාරිත්වය සඳහා දෙමාපියන් පත් කරනු ඇත.
අවසන් ගමනාන්තය:
මෙම පාසලේ අරමුණ වික්ටොරියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ (භාෂා) අනිවාර්ය අංගයක් වීමයි. එය සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ මව් භාෂාව සඳහා අපගේ කැපවීම අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඔප්පු කළ යුතුය. එබැවින් මෙම පාසලට ඇතුළත් වන සිසුන්ට සිංහල භාෂාව ඉගෙන ගැනීමට ඇති කැපවීම ප්‍රදර්ශනය කළ යුතුය. මේ සඳහා මගපෙන්වීමක් ලෙස පාසල සහ සිසුන් අතර ඇති සියලුම සන්නිවේදනයන් සිංහල භාෂාවෙන් පමණක් වනු ඇත. සිංහල භාෂාවෙන් සන්නිවේදනය කිරීමට සිසුන් උනන්දු කරවන ලෙස දෙමාපියන්ට උපදෙස් දෙනු ලැබේ. දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ අදහස් විමසන කමිටුව මේ සඳහා විවිධ සම්මාන වැඩසටහන් හඳුන්වා දෙනු ඇත.
වසර ගනනක් තිස්සේ බාධක ගල්පර මැදින් ගලා බසින නදියක් සේ වික්ටෝරියානු සිංහල භාෂා පාසල වෙරබි සෙමින් සෙමින් ගලාබසී. අදවන විට ප්‍රජා භාෂා වික්ටෝරියා (CLV) යන රාජ්‍ය ආයතනයේ අධීක්ෂණය යටතේ ගුරුවරුන් වැටුප් ලබමින් දරුවන්ට ආධාර සපයමින් අප පාසල ඉතා හොද මට්ටමකින් පවත්වාගෙන යයි. විශාල පිරිසක් මේ වනවිට පාසල වටා රොක්වී සිටි.
මා ලංකාවට එනබව අසා පුංචිම පැටව් ටික මට සමු දුන්නේ මා සමග මෙම පින්තූරයට පෙනී සිටීමෙනි. එදිනම සවස මා සදහා සංග්‍රහයක් ගුරු මණ්ඩලය සහ පාසල් කමිටුව විසින් කමිටුවේ සභාපති තුමාගේ නිවසේ පැවැත්විනි. මා ලංකාවට පැමින මේ වනවිට වසර දෙකකට ආසන්න වුවත් මෙම පින්තූර අස්ථාන ගතවී තිබු බැවින් කිසිවෙකුට පෙන්වීමට නොහැකි වුනා. මෙය මාගේ බ්ලොග් පිටුවට එකතු කලේ මා ආරම්භ කිරීමට උරදුන් පාසලේ දරුවෙකු ඔන්ලයින් පංතියකදී තම නිවසේ සිට කරන ලද ක්‍රියාකරකමක් දැකීම නිසාය. කොරොනා වසංගතය නිසා පාසලට ඒමට නොහැකි දරුවන් නිවසේ සිට හො සිංහල භාෂාව ඉගෙන ගැනීමට වෙහෙසවීම කොතරම් අගනේද. පාසලේ වර්තමාන විදුහල්පති දසුන් වෙත්තසිංහ මහතාත් ගුරු මණ්ඩලයටත් පාසල් කමිටුවේ සභාපති ලයනල් වනසිංහ මහතා සහ සියලු කමිටු සාමාජික මහත්ම මහත්මීනට මගේ ගෞරවනීය උත්තමාචාර්ය මෙසේ පුදකරමි.
"අත්තානං දමයන්ති පණ්ඩිතා"
ඔබ සියලු දෙනාටම මිහිකතගේ ආශිර්වාදය ලැබේවා!
පිටපත :සුමේධ රත්නසේකර ශ්‍රී ලංකාවේ සිට





No comments:
Post a Comment