Tuesday, January 11, 2011
සිංහල ස්ථාපනය කරන හැටි
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය ඇසුරෙනි
Windows XP සඳහා සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීම
මෙය ඉන්ස්ටෝල් කිරීම සඳහා ඔබ Admin බලය ඇති account එකකින් පරිගණකයට ලොග් වී සිටිය යුතු බව මතක තබාගන්න.
මේ සඳහා ඔබේ පරිගණකයේ Windows XP Service Pack 2 හෝ 3 පිහිටුවා තිබිය යුතුයි. දැනත පිහිටුවා ඇති SP එක දැන ගැනීමට My Computer රයිට් ක්ලික් කර Properties වෙත යන්න.
ඔබේ SP version එක අනුව මෙම ෆයිල් වලින් එකක් ලබාගන්න. (SP 2 සඳහා SP 3 සඳහා)
අන් සියලු ප්‍රෝග්‍රෑම් වල ඔබ සිදු කරමින් සිටි කාර්යයන් Save කර ඒවා වසා දමන්න. මක්නිසාදයත් මෙය ඉන්ස්ටෝල් කිරීමේදී පරිගණකය රිස්ටාර්ට් කරන්නට සිදුවනු ඇති.
බාගත් .exe ගොනුව ඩබල් ක්ලික් කිරීමෙන් ආරම්භ කරන්න. වින්ඩෝස් ඒ සඳහා ඔබේ අවසරය ඉල්ලුවොත් “Run” මත ක්ලික් කිරීමෙන් ඊට එකඟ වන්න.
සෙටප් එක ලෝඩ් වූ පසු මෙම පරිගණකයට සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරන්නදැයි විමසනු ඇති. “Yes” ක්ලික් කිරීමෙන් ඊට අවසර ලබා දෙන්න.
නැවතත් මැසේජ් එකක් මතුවී ඕපන් කර ඇති අන් සියලු ප්‍රෝග්‍රෑම් වසා දමන ලෙසත්, යුනිකෝඩ් ඉන්ස්ටෝල් කල පසුව පරිගණකය රිස්ටාර්ට් වනු ඇති බවටත් දන්වනු ඇති. ඒ සඳහා “OK” ක්ලික් කරන්න.
දැන් සිංහල යුනිකෝඩ් ස්ථාපනය වනු ඇති. ඒ සඳහා මද වේලාවක් ගත වනු ඇත.
සිංහල යුනිකෝඩ් ස්ථාපනය වී අවසානයේ මැසේජ් එකක් මතු වී මී ලඟට Sinhalese Enabling Pack ඉන්ස්ටෝල් වන බව පවසනු ඇති. මේ සඳහා “OK” ඔබන්න.
මෙවිට Wizard එකක් මතුවන අතර පලමු පිටුවේදී Next ඔබන්න.
දෙවැනි පිටුවේදී I Agree තෝරා Next කරන්න.
දැන් Sinhalese Enabling Pack ඉන්ස්ටෝල් වනු ඇති.
ඉන්ස්ටෝල් වී අවසානයේ පැමිනෙන පිටුවේ Finish ඔබන්න. මෙහිදී පරිගණකය රිස්ටාර්ට් වනු ඇති.
නැවත පරිගණකය ඇරම්භ වන විට ඔබේ පරිගණකයේ සිංහල ස්ථාපනය වී තිබෙනු ඇත. මෙය පරීක්ෂා කර බැලීමට මෙම අඩවියට (http://www.sinhalabloggers.com) පැමිණ බලන්න.
සිංහල අකුරු දිස්වීම තවත් අලංකාර කර ගැනීමට නම් මෙම උපදෙස් පිලිපදින්න
ඔබේ ඩෙස්ක්ටොප් එක රයිට් ක්ලික් කර මෙනුවෙන් Properties තෝරන්න.
එහි Appearence tab එකට ගොස් එහි Effects.. බට්න් එක ඔබන්න.
දැන් මතුවන වින්ඩෝවේ Use the following method to smooth edges of screen fonts යන චෙක්බොක්ස් එක සිලෙක්ට් කර පහල ඇති ලැයිස්තුවෙන් ClearType තෝරන්න.
දැන් වින්ඩෝ 2ම OK ඔබමින් වසා දමන්න.
Windows Vista / Seven සඳහා සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීම
Windows Vista හා Seven යන Operating System දෙක පෙරනිමියෙන් සිංහල යුනිකෝඩ් සඳහා සහාය දක්වන නිසා ඔබ සිංහල වෙබ් අඩවි කියවීමට පමණක් යොදාගන්නවානම් අමතර කිසිවක් කල යුතු නැහැ. එහෙත් ඔබ සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලියනවා නම් මෙම කුඩා patch එක ඉන්ස්ටෝල් කර ගත යුතුයි.
මේ සඳහා ඔබ Admin බලය ඇති account එකකින් පරිගණකයට ලොග් වී තිබිය යුතුය.
මෙම ෆයිල් එක බාගත කරගන්න http://www.siyabas.lk/files/VistaQuickFix.exe
එය ඩබල් ක්ලික් කිරීමෙන් ආරම්භ කරන්න.
වින්ඩෝස් මගින් ඒ සඳහා ඔබේ අවසරය ඉල්ලනු ලබන අතර එම අවසරය ලබාදෙන්න.
එවිට මතුවන Wizard එකේ පලමු පිටුවේ දී Next කරන්න
දෙවැනි පිටුවේදී ඉන්ස්ටෝල් වන ස්ථානය පෙන්වනු ලබන අතර එය පරීක්ෂා කර බලා Next කරන්න
දැන් සිංහල යුනිකෝඩ් පැච් එක ඉන්ස්ටෝල් වන අතර ඉන්ස්ටෝල් වී අවසානයේ ඒ බව මැසේජ් එකක් මගින් දන්වනු ඇති.
සිංහලෙන් ටයිප් කරන හැටි
සිංහලෙන් බ්ලොග් අඩවියක් අරඹන්නට අවශ්‍ය වෙන එකම දැනුම සිංහලෙන් ටයිප් කිරීමේ දැනුම විතරයි කියලා කියන්න පුලුවන්. ඒත් මේකත් ඉගෙන ගන්න අමාරු දෙයක් නෙමෙයි වගේම ටයිප් කරන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඔබට පහසු ක්‍රමයක් පාවිච්චි කරන්න පුලුවන්. මේ ක්‍රම එකින් එක අපි විමසා බලමු.
සම්මත විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීම
සිංහල යතුරු ලිවීම සඳහා තියෙන සම්මත යතුරු පුවරුව තමයි විජේසේකර නමින් හඳුන්වන්නේ. ඔබ සිංහල ටයිප්රයිටර දැක ඇත්නම් එහි අකුරු පිහිටන ආකාරය තමයි මෙම විජේසේකර සම්මතය. නමුත් ටයිප්රයිටරයේ ඇති පුවරුව 2004 දී මදක් වෙනස් කර යුනිකෝඩ් වලට සම්මත ක්‍රමයක් සකසනු ලැබුවා. දැන් භාවිත වන විජේසේකර යතුරුපුවරුව එයයි.
සම්මත qwerty ඉංග්‍රීසි යතුරු පුවරුව වගේම මෙයත් සකසා ඇත්තේ වැඩියෙන්ම භාවිතා වන අකුරු සඳහා ඉක්මනින් ලං විය හැකි ආකාරයට. ඉතා ඉක්මනින් ඉගෙනගත හැකි වීමත්, පුරුදු වූ පසු ඉතා වේගයෙන් ටයිප් කල හැකි වීමත් නිසා මෙම පුවරුවට හුරුවීමට නිර්දේශ කරන්නට පුලුවන්.
අනෙක් ප්‍රධාන වාසිය නම් මෙය සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීමේදී ඒ සමගම ලැබීම. විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීමට වෙනත් බාහිර ප්‍රෝග්‍රෑම් කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කල පසු ඔබේ System Tray එක අසල “EN” යනුවෙන් දකින්නට ලැබෙනවා ඇති. (මෙය නොපෙනේ නම් Language Bar එක දිස්වීමට සකසා ගන්න) එය මත ක්ලික් කිරීමෙන් ලැබෙන ලයිස්තුවෙන් “SI” තෝරා ටයිප් කිරීමෙන් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පුලුවන්.
යතුරු පුවරුවේ සැකැස්ම බලා ගැනීමට මෙම pdf ගොනුව බලන්න.
සිංග්ලිෂ් යතුරු පුවරු
සිංග්ලිෂ් කියන්නේ ඔබ සියලු දෙනාට ආගන්තුක දෙයක් වන්නට බැහැ. SMS එකක් යැවීමේදී අප සියලු දෙනා එය භාවිතා කරනවා. උදාහරණයක් විදියට “මට බඩගිනියි” කියලා අපි ලියනවා “mata badaginiy” කියලා. මෙහෙම සිංග්ලිෂ් වලින් ටයිප් කර එය සිංහල යුනිකෝඩ් බවට හරවාගතහැකි ක්‍රම තිබෙනවා. ඉන් කීපයක් විමසා බලමු.
Garp Singlish යතුරුපුවරුවපරිගණකයේ ඕනෑම අකුරු ටයිප් කරන ස්ථානයකදී සිංග්ලිෂ් වලින් ටයිප් කර එය එසැනින් සිංහල යුනිකෝඩ් වලට හරවා ගත හැකි මෘදුකාංගයක් තමයි Garp. මෙය Keyman වැඩසටහන සඳහා extension එකක්. මෙය රු. 2000/= ක් පමණ මුදලකට මෙම අඩවියෙන් මිලදී ගත හැකියි.
සිංග්‍රීසිසිංග්ලිෂ් වලින් ටයිප් කර සිංහල යුනිකෝඩ් ලබාගත හැකි කුඩා මෘදුකාංගයක් වන මෙය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙකු වන තමීර සේනානායක මහතාගේ නිර්මාණයක්. එය ලබාගැනීමට මේ අඩවියට පිවිසෙන්න http://singreesi.vndv.com/
Singlish Sinhala TypeWriterමෙය සිංහල යුනිකෝඩ් යෙදා සැකසූ විශේෂ වදන් සකසනයක් (word processor). එය පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීමටත්, එය බාගත කර ගැනීමටත් එහි ගූග්ල් සමූහය වෙත පිවිසෙන්න. http://groups.google.com/group/singlish-typewriter
UCSC සිංග්ලිෂ් එසැනින් පරිවර්තකකොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (UCSC) විසින් නිපදවන ලද මෙම යතුරු පුවරු වල ඇති විශේෂත්වය නම් ඒවා අන්තර්ජාලයේ වෙබ් අඩවියකම තිබීමයි (online). ඒ නිසා ඔබට ඕනෑම තැනකදී එය පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. සිංග්ලිෂ් ලිවීමේ සුලු වෙනස්කම් සහිත පද්ධති දෙකක් ඇති අතර ඔබට ගැලපෙන එක තෝරාගෙන එය භාවිත කල හැකියි.
SinGlish transliterated –> Sinhala Unicode
SinGlish (Phonetic) transliterated –> Sinhala Unicode
තිරය මත (On Screen) යතුරු පුවරු
මෙම යතුරු පුවරු වලින් ටයිප් කිරීමට ඇඟිලි භාවිත කල යුතු නැති අතර එක එක අකුරු වලට අදාල බොත්තම් මවුස් එකෙන් ක්ලික් කර යුනිකෝඩ් අකුරු ලබාගත හැකියි. මෙය තරමක් කරදරකාරී ක්‍රමයක් වුවත් කිසිදු ක්‍රමයක් භාවිතයට ගත නොහැකි හදිස්සියකදී ප්‍රයෝජනවත් යමක්. USCS මගින් නිපදවූ තිරය මත යතුරු පුවරුව මෙම යොමුවෙන් ලබාගත හැකි අතර, ඔබේ වෙබ් අඩවියට හෝ iGoogle පිටුවට එකතු කල හැකි Google Widget එක මෙම යොමුවෙන් ලබාගත හැකියි.
Subscribe to:
Comments (Atom)